හොරණ බටගොඩ ප්‍රදේශයේ පිහිටි "සෙනෙහසේ කැදැල්ල" වැඩිහිටි නිවාසයේ ඇති වූ ගින්නෙන් මියගිය පුද්ගලයින් 13 දෙනාගෙන් පස්දෙනෙකුගේ මරණ පරීක්ෂණ මේ වන විට අවසන් කර ඇති බව වාර්තා වේ.
තවත් මියගිය දෙදෙනෙකුගේ ඥාතීන් ඉදිරිපත් වී ඇති බැවින් ඔවුන්ගේ මරණ පරීක්ෂණ ද අද දිනය තුළ සිදුකිරීමට නියමිත බව හොරණ මූලික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මරණ පරීක්ෂණ අවසන් කළ සිරුරු දෙකක් ඥාතීන් විසින් අවසන් කටයුතු සඳහා භාරගෙන ඇති අතර, කිසිදු ඥාතියෙකු ඉදිරිපත් නොවන සිරුරු රජයේ වියදමින් භූමදානය හෝ ආදාහනය කිරීමට කටයුතු යොදා ඇත.
මේ අතර, හොරණ මූලික රෝහලේ වසර කිහිපයක සිට ශීතාගාර පහසුකම් නොමැතිවීම හේතුවෙන් ඥාතීන් විසින් භාර නොගන්නා සිරුරු කළුතර නාගොඩ ශික්ෂණ රෝහල වෙත මාරු කිරීමට සැලසුම් කර තිබේ.
පසුගිය ජූනි 3 වැනිදා මෙම වැඩිහිටි නිවාසයේ හටගත් ගින්නෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් හය දෙනෙකු හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.




